අපගේ දැක්ම
ගෞරවණීය සේවාවක් - අභිමානවත් ජන දිවියක්අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය, ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැළසුම් සහගත ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම.උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව මැතිවරණ බල ප්‍රදේශයට අයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරින් ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද දකුණෙන් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද නැගෙනහිරින් පොළාන්නරු දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද බටහිරින් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද මායිම්ව සෞන්දර්යාත්මක වටිනාකමක් සහිත භූමි ප්‍රදේශයක් ලෙස පිහිටා ඇත. දිස්ත්‍රික්කය තුළ පිහිටි අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් ප්‍රමාණාත්මකව සැළකීමේදී පලුගස්වැව කුඩා බලප්‍රදේශයක් ලෙස හැදින්විය හැකිය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටීම
මරදන්කඩවල හබරණ මාර්ගයේ හබරණ සිට මරදන්කඩවල දෙසට කිලෝමීටර් 7ක් පමණ ගිය විට අංක 601 පලුගස්වැව ග්‍රාම නිලධාරි වසම තුළ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ළඟාවීමට ඇති ප්‍රධාන මාර්ගය
අනුරාධපුර නුවර මාර්ගයේ මරදන්කඩවල දක්වා පැමිණ මරදන්කඩවල මංසන්ධියෙන් හැරී හබරණ පොළොන්නරුව මාර්ගයේ පැමිණ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ළඟාවිය හැකිය. අනුරාධපුරයේ සිට දුර කිලෝමීටර් 56 කි. එසේම ත්‍රිකුණාමලය, මහනුවර, පොළොන්නරුව යන නගර වල සිට හබරණ නගරය දක්වා පැමිණ හබරණ මරදන්කඩවල මාර්ගයේ කිලෝමීටර් 7ක් පැමිණි විට ද පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ළඟාවිය හැකිය.
පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය
පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරන විට පැහැදිළි වන්නේ අතීතයේදී උතුරු මාටඹුවාව කෝරළයට හා දකුණු මාටඹුවාව කෝරළයට අයත් භූමි භාගයක් ලෙසින් මෙම කොට්ඨාසය පැවතුණු බවයි. එහි අංක 45 සහ 46 යන මාටඹුවාව තුලාන තිරප්පනේ උප දිසාපති වරයා යටතේ පාලනය වී ඇත.
රාජ්‍ය පරිපාලන ක්ෂේත්රය තුළ කාලයෙන් කාලයට සිදුකළ සංශෝධනයන් අනුව කළ උප දිසාපති කොට්ඨාස බල ප්‍රදේශ සීමා නැවත සකස් කිරීම් වලදී පලුගස්වැව කලාපය තිරප්පනයෙන් වෙන් කොට කැකිරාව හා ගලෙන්බිදුණුවැව දිසාපති කොට්ඨාස යටතේ පාලනයට භාර දී ඇත.
එසේ පාලනය වෙමින් තිබියදී ගලෙන්බිදුණුවැවෙන් වෙන් කොට කැකිරාව දිසාපති කොට්ඨාසයේ උප කොට්ඨාසක් ලෙසින් වසම් 5 ක පාලන බලය ඇතිව ස්වාධීන ඒකකයක් වශයෙන් 1982 අප්‍රේල් මස 21 වන දින පලුගස්වැව උප දිසාපති කාර්යාලය ආරම්භ කර ඇත.
1992 වර්ෂයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංකල්පය හදුන්වාදීමත් සමඟම නැවත වරක් උප දිසාපති කොට්ඨාස හා ග්‍රාම සේවා වසම් අලුතින් සකස්වීම සිදුවිය. එහිදී තුළාන 16 ක් වන පරිදි පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තවදුරටත් ව්‍යාප්ත වූ අතර ඒ අනුව එතෙක් පැවති “පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය” යන්න 1998.05.13 වන දින “පලුගස්වැව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය” ලෙසින් නාමය උසස් කොට වැඩ කටයුතු ආරම්භ කර ඇත.
කැකිරාව මැතිවරණ කොට්ඨාසයට අයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගම්මාන 42 කින් සමන්විත වන අතර වර්ග ප්‍රමාණයෙන් හෙක්ටයාර 19788 ක (වර්ග කිලෝමීටර් 197.88 ) භූමි භාගයකට උරුමකම් කියයි. 2017 වර්ෂය වන විට මෙහි මුළු ජනගහනය 18295 ක් වන අතර මුළු පවුල් සංඛ්‍යාව 5946 ක් වේ.
ජන ජීවිතය
කොට්ඨාසයේ සමස්ත ජනගහනයෙන් 99% ක්ම සිංහල ජාතිකයින් වන අතර ඉන් 99% ක්ම බෞද්ධ ජනතාව වෙති. 1% ක පමණ ප්‍රමාණයක් වෙනත් ජාතීන් හා වෙනත් ආගමිකයින් වේ. මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. එයිනුත් වී ගොවිතැනට ප්‍රධාන තැනක් හිමි වේ. මෙයට අමතරව හේන් ගොවිතැනට යොමු වී, ගොඩ බෝග වගාව තුළින්ද ආර්ථිකය සරි කර ගන්නා පිරිසක් දක්නට ලැබේ. තවද කර්මාන්ත හා සේවා යන අංශ වල නියැලී සිටින පිරිසද කොට්ඨාසයේ තැනින් තැන විසිරී සිටින අතර පශු සම්පත් අංශයට නැඹුරු වූ පිරිසක් ද මෙම කොට්ඨාසය තුළ දැක ගත හැකිය.
පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටීම පිළිබඳව සලකා බැලීමේදී විශේෂයෙන් පෙනී යන කරුණක් වන්නේ සංචාරක කර්මාන්තය සඳහා කදිම තෝතැන්නක් ලෙස මෙම ප්‍රදේශය පත්වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා බද්ධ වූ ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්වභාව සෞන්දර්යය අතින් දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් අමන්දානන්දයට පත් වන දසුන් වලින් පෝෂිත වූ ප්‍රධාන මංසන්ධියක් ලෙස පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හබරණ නගරය පෙන්වා දියහැක. මෙම සංචාරක ව්‍යාපාරය තුළින් ප්‍රදේශයේ ජනතාවට රැකියාවන් රැසක් බිහි වී ඇති අතර එය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් තැනකට රැගෙන යාමටද හේතු වී ඇත. නමුත් මෙම සංචාරක ව්‍යාපාරයේ සීග්‍ර ව්‍යාප්තිය නිසා ප්‍රදේශයේ ජනතාවගේ සාම්ප්‍රදායික දේශීය සංස්කෘතික හර පද්ධතීන්ට යම් තර්ජනයක් වී ඇති බව නිරීක්ෂණය වේ.
පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්ථාන කීපයක් පවතින අතර එයින් ඓතිහාසික රිටිගල කඳු වැටිය කොට්ඨාසයට මහත් වූ අභිමානයක් එක්කරන්නකි. සමස්තයක් ලෙස බලන කල සිංහල බෞද්ධ සංස්කෘතියට උරුමකම් කියන ගැමි සුවඳ හමන ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශය හැදින්විය හැකිය.
පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පිළිබඳව තොරතුරු සොයා යන්නෙකුට මෙම සම්පත් පැතිකඩ මාර්ගෝපදේශයක් කරගත හැකිය. මේ තුළින් කොට්ඨාසයේ පිහිටීම , ජනගහන තොරතුරු , අධ්‍යාපන , සෞඛ්‍ය , යටිතල පහසුකම් , කෘෂිකාර්මික කටයුතු ප්‍රධාන කරගත් තොරතුරු රාශියක් හදුනාගත හැකිය.
.
1982 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| ධර්මදාස සේනාදීර | 1982 | 11983 |
| මහානාම ජයතිලක | 1983 | 1987 |
| ඒ.නෝබට් | 1987 | 1990 |
| එස්.එම්.බි.නියරේපොල | 1990 | 1992 |
| මහානාම ජයතිලක | 1992 | 1993 |
| පී.කේ.ජයලත් | 1993 | 1998 |
| ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) | 2005.02.01 | 2005.06.07 |
| කාන්ති පෙරේරා | 2005.06.08 | 2007.07.05 |
| ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) | 2007.07.06 | 2008.03.31 |
| කේ.ජී. ධර්මතිලක | 2008.04.01 | 2013.06.30 |
| අමල් ජේ.එස්.එස්. එදිරිසූරිය (වැ.බ.) |
2013.07.01 |
2013.10.31 |
| ඩී.පී. වික්‍රමසිංහ | 2013.11.01 |














